Saturday, July 28, 2012

නංගියේ.......

ගෙන්දගම් පොලවේ පය ගැසූ අයියලා තම සහෝදරියන් ගැන බිය වෙති. ඔවුන් මල් වැනිය...අහිංසකය....සියුමැලිය...අයියලා එසේ නොසිතන්නේ නම් එය මහා පුදුමයක්මය....

සහොදරියෝ හරිම හුරතල්ය....ඔවුන්ගේ කෙළි කවටකම් වලින් පිරුණු ලෝකය ළමා අවධියේ වුවද තරුණ අවදියේ වුවද වෙනසක් නොවේ....තමන් මලක් සේ රකින තම නැගණියට සමජයේදි අසධාරණයක් සිදුවේය යන පොදු බිය, සියලූම සහෝදරයන්ගේ සිත් තුල සැඟවී පවතින කරුණකි....... තවද තම නැගණිය වෙනත් තරුණයෙකුට පෙම් කරන දින තමන්ට ඇති ආදරය අඩුවේය යන පුහු බිය මුසු ඉරිසියාවද අයියලාගේ ආදරය තවත් තීවෘ කරයි......


නංගිලා ඇති අයියලාගේ හැගීම්....නංගියෙක් නැති බඩා මෙසේ කවිකම් කරයි....!!!!!

දඟකාර කමට හිටියට...
කටකාර කමට දෙඩුවට...
නංගියේ.......
නුඹ නොදන්න දේ බෝමයි....
හුරතල් තාලෙට හිටියට...
හිතුවක්කාර උනොතින්....
නංගියේ.......
නුඹ යා යුතු මග වරදි.......

කටු අකුලේ
අත පොවනු බැරි දුරින්
කල්පයක් පෙරුම් පුරලා
ගස පුබුදන මල නුඹ....
පියඹලා නුඹට ලංවෙන....
නුඹ තලලා රිදවන.....
බඹරිඳු කෙලෙසද.? නවතන්නේ මම....

මල් කුලයේ
හෙට දවස සදන්නට
සදෙව් ලොවින් වැඩලා
මිහිපිට පිබිදුනු නුඹ....
සනහලා බඹර කුලයම...
සනහලා පොලෝ තලයම...
මගෙ නෙත් මානේ ඵල දරපන්......

..................බඩා.....................

Thursday, July 26, 2012

මම පෙම්වතෙක් නොවුනා නම්....





පෙම් කළ උන්ට, උනුන් මුනගැසෙන්නේද.......?? එක්වීම හෝ වෙන්වීම යන දෙ අන්තය තුල ඔවුන්ගේ ඉරණම විසඳේ........ නමුත් යමෙකුට තමන් පෙම් බැඳි දා විඳි අත්දැකීම් අමතක කළ හැකිද..??

දුක, වේදනාව, සතුට, පසුතැවීම, ආදි කොටගත් සවිඥ්ඥානික හැඟීම් තුල සිරවී පෙම් බැඳි අතීතය කිසිවෙකුටත් අමතක නොවේ.

එදා ඔහු පෙම්වතෙකි.... අද ඔහු සැමියෙකි....නමුත් ඔහුගේ පෙම්වතිය ඔහුගේ බිරිඳ නොවීය....



එදා ඇයට දුන් කඳුලු, ඇයගෙන් ඇසූ බැනුම්....ඇයට දුන් සිනහව, අයගෙන් ලැබූ අභිමන්....ඔහු හා ඇය රසවිඳි අතීතය ඔහුට අදද මතකයට නැගේ....ඇයගෙන් වෙන්වීම තුල අවශේෂවූ පසුතැවීම, ඔහු නැවත පෙම්වතෙක් වීම සදකාලිකව වලකනු ඇත.........!!!!!!!!!!

මම පෙම්වතෙක් නොවුනා නම්....
නුඹේ සුසුම් ගැන නොසිතා...
මල් සුවඳ විඳින්නට තිබුනා.....
නුඹේ දෙනෙත් ගැන නොසිතා....
තරු එළිය දකින්නට තිබුනා.......
මම පෙම්වතෙක් නොවුනා නම්....

නුඹේ කඳුළු ගැන නොසිතා.....
වැහි දියේ තෙමෙන්නට තිබුනා....
නුඹෙ බැනුම් ගැන නොසිතා....
ගෙරවුම් විඳගන්නට තිබුනා...
මම පෙම්වතෙක් නොවුනා නම්....

නුඹේ උවන ගැන නොසිතා.....
සඳවත දැකගන්නට තිබුනා....
නුඹේ දෙතොල් ගැන නොසිතා....
මට ඇය සිපගන්නට තිබුනා.....
මම පෙම්වතෙක් නොවුනා නම්....

................බඩා.......................

Sunday, July 22, 2012

පිච්ච මලේ..........

ප්‍රේමයට පන්ති භේදයක් නැත. නමුත් පෙම්වතුන් එක් වීමට පන්ති භේදයක් නොතිබිය යුතුය. දුප්පත්, පෝසත්, කුල, මල, ජාති, ආගම් ආදිය ප්‍රේමයේ සදාතනික සතුරෝය.

උඹ පිච්ච මලක් වගේ......ලස්සනයි....අහිංසකයි....සුවඳයි....


ගිනි මද්දහනේ දුක් විඳින දුප්පතුන්ට, රාත්‍රියේ සැපට පිපෙන පිච්ච මල් උරුම නැත.

සඳ එළිය ගත සනසයි...හිරු ගත දවයි....පිනි බින්දු ගත නැවුම් කරයි...දහදිය ගත අපුල කරයි...පිච්ච මල් නම් දහවලට නොපිපෙන්නේමය. ඉදින් නුඹ ගැන තවත් සිහින දැක පලක් නැත.  
පොදු වූත් සමාන වූත් රතු රුධිරයක අසමාන කම් දකින නරයින්ගේ ප්‍රේම වෘතාන්තය...... 


පිච්ච මලේ
උඹ රෑටම පිපීයන්...
ගිනි මද්දහනේ ඇවිලෙන
හිතේ ගින්න නොපෙනෙන්නට....
පිච්ච මලේ
උඹ රෑටම පිපීයන්...

අව්ව සැර වැඩී
සඳ එළිය සේ නැති...
සුලඟ ගිනිගනී
මද පවන සේ නැති....

උඹ පිපී ඇති
රෑ මට නින්ද නැතී...
සිහිනයේ එතී
මුදු සුවඳ නොනවති...

යටි හිතෙ හරී
උඹ ඉන්ටෙපා වෙලී...
සිපගන්න බැරී
මම අසරණයි හරී...

...............බඩා..............

Friday, July 20, 2012

නුඹ නැති එකම එක කවිය........


මම ගී ලීවෙමි..... කවි ලීවෙමි....... දිනක් මා මටත් නොදැනුවත්වම මම ලියූ ගීත සිතින් මෙනෙහි කළෙමි. පුදුමයකි!!!!....... මා ලියු සෑම ගීතයකම එක් වචනයක හෝ නුඹේ මතකය දැවටී ඇත.... මා එය සිතා මතා නොකලැයි මම බොරු නොකියමි. මට සමාවුව මැනවි.... මගේ ආදරය නුඹ නමින් කවි කළ මට සමා වුව මැනවි....



සමනළ යුගයේ ප්‍රේමය ප්‍රකශ කරගනු බැරි වූ, ඒක පාර්ශවික ප්‍රේමවන්තයා, තවත් එක් යුගයක ඔහුගේ වේදනාව මෙසේ කවිකම් කළේය.

මම නුඹ නො එන බව දනිමි. නමුත්..... නුඹ ගැන කවිකම් නොකරන්නට තරම්....., මගේ හිත...... මටම කීකරු නැත.


ලියා කවි දහසක්...
පුරා පත් ඉරු සහසක්....
පියා නෙත් මොහොතක්...
සොයමි නුඹ නැති එකම එක කවියක්
සැනසෙන්න මොහොතක්.....

වියන සේ පන් පැදුර නෙක හැඩ      දමා..
ගොතන සේ ගෙත්තමක් හැඩ වැඩ   නිමා...
බඳින පද වැල් නොවී සිතිවිලි          පමා...
නුඹ ගැනම වේ කළ මැනවි මට        සමා....

පෙමක් පොදි බැඳ හදවතේ හැඩ    දමා...
පුදනු පෙර ඉක්මන් වුනේ නුඹ       තමා...
රැගෙන ඔහු අත පලා ගොස් නොව පමා...
කළ මැනවි මේ අඳුරු සිහිනය        නිමා...

...................බඩා.......................

Tuesday, July 10, 2012

තව වසන්තයක් ඇවිදින්.......



එක් වසන්තයක් නිමාවිය. ඒ වසන්තයේ නුඹ මා හා බොහෝ දුර ඇවිද ගියේය....අපි මල් පෙති ඇහින්දෙමු. ගීත මිමිනුවෙමු.
ඒ වසන්තයම මට සරදම් කරමින් නැවත උදාවී ඇත... ඔබ මා ඇවිද ගිය මාවත ඔබට මතකද....? නුඹම මට මග පෙන්වු ඒ මාවත..නුඹ දෝතට ගත් මල්පෙති, ගැයු ගීත........ඒ වසන්තයෙදිත් නුඹ හැඬුවා නුඹට මතකද.....????



පසුගිය වසන්තයේ පෙම්සුව විඳි ප්‍රේමවන්තයා මේ වසන්තයේ තනිවී ඇත..පෙර පුරුදු මාවතේ ගමනේ යෙදෙන අව්‍යාජ ප්‍රේමවන්තයා අතීතයේ සිපිරි ගෙය තුල සිරවීම කාට නම් වැලකිය හැකිද..??
ගහ කොළ, ඇල දොල පෙර සේම ඔහුට හිතවත්ය...නමුත් ප්‍රේමය නම් වු සදාකලික යෞවනිය ඔහු හා අමනාපව ඇත....

ඉදින් තවත් එක් ප්‍රේමයේ අඳෝනාවක් මෙසේ ලියමි...  


තව වසන්තයක් ඇවිදින්.....
යා යුතුය නුඹ නැතිව
සඟවමින් හද සුසුම
නුඹම මග කී මාවතේ
සැලෙන තුරු පණ නලම....

වැටුනු මල් පෙති අදත් අහුලමි.....
එදා නුඹෙ මෘදු අත්ල මත රැඳි
සුවය අද නැතිදෝ කියා
මල් පෙතිත් ඇහුවා.....

යනෙන මග තොට ගීත  මුමුනමි.....
එදා නුඹ මුව අගින් පිටවුනු
මිහිර අද නැතිදෝ කියා
සියොතුනුත් ඇහුවා......

තවම මතකය වසන්තය ලඟ......
එදා නුඹෙ නෙතු අගින් පිටවුනු
කඳුලු බිඳුවක දියවෙලා
මගෙ නෙතත් හැඬුවා......

උපමාව........

ප්‍රේමය සදාකාලික නැත.තවකාලිකද නැත...එය වු කලී හුදු කාලයේ මිම්මෙන් ඔබ්බට පැතිරෙන මනුෂ්‍ය හෝ තිරිසන් සුපහන් විඥ්ඥානයත් සමග ගැටෙන්නවු දෙයකි...එසේම බොරුවට පෙම් කිරීමද, තමා තමාම රවටගනිමක් යැයි නොකියන්නෙ කෙසේද...?


වහසි බස් දොඩමින් අතේ ඇඟිලි ගනනට පෙම්වතියන් එකතුකරන ප්‍රේම රූකඩය කිවිඳෙක් වී ඇත. ඒ උපමා අද කොහිද...? උපමාවට මුවාවෙන් පමාවූ පෙම්වතිය තනි විය....
 ආතල් එකට පෙම් කල වුන්ට නොදැනෙන යුවතියගේ/ගැහැණියගේ විලාපය  මම මෙසේ ලීවෙමි......

උපමාව........

සැලෙන සිත සයුරකට උපමා කල....
හඬන නෙත ගඟුලකට උපමා කල....
දිලෙන තරු නෙතු යුගට උපමා කල...
කිවිඳ කෝ නුඹ කොහෙද..? මා හැරගිය.......

නුඹේ හැඩි දැඩි
ඇඟිලි තුඩු මගෙ
දෙතොල් මත තියලා.......
පිරිමදි නුඹ
සැලෙන නා දළු
මේ වගේ කියලා.......

නෙතට උනනා
කඳුළු බිඳු මුතු
වලට සමකරලා.......
කඳුළු අතරින්
නුඹේ රුව මට
බොඳවෙලා පෙනුනා.......

Monday, July 9, 2012

ගං ඉවුර......

හිරු බැස යන මොහොතේ සිට අඳුර වැටී සඳ නගෙන තුරු ගං ඉවුරට වී පෙම් සුව විඳිනා පෙම්වතුන් යුවලක් මගේ සිතේ මැවින...ඔවුන් නිහඬය...ඔහු පෙම්වතියකගේ උකුල මත හිස තියාන... තියුනු වුත් ආදරනීය වුත් දැසින් ඇගේ දැස දෙස බලා හිඳි...... ඇය ඔහුගේ කෙහෙරැල් අතරින් සුරත හොවා හිස පිරිමදී......ඔවුන් ඔවුන්ගේ දෑස් තුල දැහැන් ගතවීම කාට නම් නැවතිය හැකිද....??? එසේම ඒ මොහෙතේ ඇතිවන අනුරාගී හැඟුම් කාට නම් තේරුම් ගත හැකිද....???

ගං ඉවුර......

කළුවර ඇවිදින් ඉරට යටින්...
නුඹ මා රැඳි ගං ඉවුර පිටින්...
හිටිය මතකද..? හඳ හිනහෙන තුරු....
හිස තියාන නුඹෙ උකුල පිටින්...

සුරත රුවා කෙහෙරැල් අතරින්
පිරිමදිමින් හිස.....
දෑස හොවා හැඟුමන් අතරින්
නුඹේ දෑස මත....
දෙතොල තබා සිපගත් සෙනෙහෙන්
මා මුදු නලලත....

සිහින ගෙනා සඳ කැන් අතරින්
ඈත ලොවේ සිට...
දෙතොල තෙමා මුදු හාදුවකින්
නොරිදෙන්නට මට...
ලැමද හොවා තව මා සනසන්
සුසුම් ලතාවට...

මගෙ හිත මලගම් ගියදා........

ප්‍රේමය වු කලී නුඹට, මට, අප හැමටම පොදු වු හැඟිමකි...මා ඇයට පෙම් කලාද..? නොකලාද..? යනවග අදත් මා පිලිතුරු නොදන්නා පැනයයි...කෙසේ වුවද ඇයට මා හට පෙරලා  පෙම් කල නොහකි බව පමනක් මම ඉඳුරාම දැන සිටියෙමි..... අවසානයේදී මා පෙම්වතෙක් විය...මගේ හදවත ඇගෙ පෙමින් ආතුර විය...නමුදු ආතුරවු සිත ප්‍රේමයෙන් සනහන්නට නුඹ නො එන බව මම දනිමි....ඉදින් මගෙ හිත මලගම් ගියදා........

මගෙ හිත මලගම් ගියදා........

මුළු නුවරම හැඬුවේ නැතිවා..
මගෙ හිත මලගම් ගියදා...
මා පමනයි ඒ වග දන්නේ..
දැනගත්තත් නුඹ නෑ එන්නේ.....

පාවඩ එල එල...
වැලි පොරි ඉහ ඉහ..
මල බෙර වැයෙනා හතර වටින්...
ඒ මලගම දා, උන් කවුරුත් නැත....
නුඹෙ රුව පෙනුනා වැටට පිටින්....

මල් හී සර වැද...
ලෙඩ වුනු මගෙ හිත...
අවසන් මොහොතෙත් මග බැලුවා...
මගෙ දුප්පත් හිත, උඹ දන්නෙ නැත...
ඈ හිත අන්සතු එහෙම පිටින්....

Sunday, July 8, 2012

පෙම්වතා....

කෙනෙක් ප්‍රේමය රාගයෙන් කෙලවර වේ යැයි පවසයි....ඒහි ඇත්ත නැත්ත මා දන්නේ නැත... නමුත් අනුරාගී වු ප්‍රේමය සදාකල් පවතින බව මම විශ්වාස කරමි...හුදෙක් පෙරදිග ප්‍රේමයේ ශෘංගාරයේ රස බැලිමේ සීමාවෙහි අගුළු පලමුව බිඳින්නේ පෙම්වතා යැයි පෙම් නොකල මට හැඟේ...මෙම සිතිවිලි ප්‍රේමය අතරතුරා ඇතිවෙන නැතිවෙන අයුරු මම මෙසේ ලිවීමට උත්සහ කළෙමි.


පෙම්වතිය හා පෙමින් වෙලෙන මොහොතේ පරිසරය නිහඬ සේ පෙම්වතාට දැනෙයි... ඉදින් ඔහුගේ සිතිවිලි ඔහු කෙසේ පෙම්වතියට පවසම්ද..????


ගහ කොළ ඇල දොල නිහඬ වෙලා...
ඔබ හා මා පෙම් කරන තුරා...
මොහොතක් නුඹෙ ලැම මතට වෙලා....
ඉන්ටැයි මගෙ හිත මුකුළු කලා...

ගී මුමුනන රස හුරතල් තාලෙට...
කෙහෙරැලි නටනා සුළඟින්...
මා ලඟ රඳෙනා මේ සුළු මොහොතට....
අදරෙයි ? මං කොතරම්....

මදහස නලියන දෙතොල ලතාවට....
කෙලෙසද ඉන්නේ ඉවසන්....
දෙතොලග මීවිත රස පුරවා විත...
සව්දිය පුරමු ? තහනම්.....

සිනහ මල්.......


ඔබ මෙය නොදන්නවා විය හැක...දන්නවාද විය හැක...මෙය වු කලී මා සුමිතුරු සෑම් විදේශ ගතවු දිනට පසු දා මා අතින් ලියැවුනු පද රචනවකි....ඔහු යන දින මා හට දැනුනු පාළුව කෙසේද යත් රාත්‍රී 2 මම ඔහු සිහිවී නුපුරුදු ලෙස නින්දෙන් අවදි වුයෙමි....ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකී...මට ඔහුගේ පෙම්වතිය සිහිවිය...ඇය ඇගේ කඳුළු සිනහවෙන් සඟවා යවන සුබ පැතුම අලළා මෙම ගීතය ඊට පසු දින රචනා විය....

කඳුළු මල් නෙළාන...
හිඳිමි මග බළාන..
සොඳුර නුඹ ගියාම...
දුර ඈත..

සිනහ මල් නෙළාන...
එන්න මා සොයාන....
නුඹ ඇවිත් ගියාම...
නැහැ සෝක....

සත් සමුදුරෙන් එහාට....
නැව් නගින පාළු රෑක...
මම දුන්නු සිනහ මල් මිට
රෑඳුනවේ නුඹ ගාව.....

නුඹ රැවටුනාද කෝම....
මට පුදුමයි හැමදාම...
මම දුන්නෙ කඳුළු මල් බව
නුඹ දන්නෙම නෑ නේද....?

(උපුටා ගෑනීම සපුරා තහනම්)

මා දමා ගිය නුඹ........


මෙම ගීතය හුදෙක් මටම පොදු වු වස්තු බීජයක් මත ලියැවුනකි. වස්සානයක් නැති, ගිමහනයේ තනිවු පෙමවතාගේ බලාපොරොත්තුව මරණයත්, මතකයත් පමණි.....
මා දමා ගිය නුඹ........

ගිය වසන්තයෙත් නුඹ හිටියා මතකයි....
තව වසන්තයක් ගෙන අවා මතකයි....
මේ ගිම්හානයෙත්.....නුඹ අවොත් ඉතින්....
මට වස්සානයක් සේ දෑනේවී
සත්තකින්.......

කුරුළු ගී හඬ ගොළු වෙලා තිබෙනා තුරා..
සිහිල් දිය බිඳු දැවී දැවී වියැකෙන තුරා..
කෙදින හෝ වස්සානයක් එළැඹෙන තුරා...
නුඹේ පෙම දිය පොදක් වෙයි මට දිවි තුරා...

ගිමන් කළ මිරිඟුවක් වී දෙනයන අරා...
මැවී මා හා…මත් කලා නුඹ නිරතුරා....
ගෙවෙන දිනෙයක, පැයෙක මා මියැදෙන තුරා...
මතක මීවිත තෙමයි දෙතොලම පණ පුරා...

බඩා…..

Saturday, July 7, 2012

යුවතියක් හැඬුවා.......



පෙම්වත නුඹට මතකද....? සඳ එළිය වැටුනු පාළු මාවත අසල නුඹ මා හා තනිව මැවූ ලෝකය...මම තාම එතන....නුඹ කොහිද අද....???





ශෘංගාරයේ රසය වැඩි විප්‍රලම්භයේ බව මෙවන් මොහොතක මට දැනුණි....
 
යුවතියක් හැඬුවා.......

සෙනෙහසක් ලඟ නැවතිලා.....
තව කල්පයක් ඉමි මඟ බලා
හඬන දා කඳුලැළි සලා
නුඹෙ දෙවුර අන්සතු වෙලා.....

පාළු මාවත අඳුරු සෙවනේ
සඳ දියෙන් සිත්තම් උනේ
අපේ ලොවමද ? අනේ පෙම්වත
කොහෙද කෝ නුඹ සෑඟවුනේ......

සිහින විජිතේ පෑතුම් විමනේ
පැතුමකින් සිත්තම් උනේ
අපේ ලොවමයි අසන් පෙම්වත
කොහෙද? කෝ නුඹ සෑඟවුනේ......

............බඩා.............................